Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මන්ත්‍රීලා කොරෝනා බළකායේ මහාචාර්ය මම එළියේ

මන්ත්‍රීලා කොරෝනා බළකායේ මහාචාර්ය මම එළියේ

මන්ත්‍රීලා කොරෝනා බළකායේ මහාචාර්ය මම එළියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණට වඩා මහාචාර්ය තිස්ස විතාරණ ගැන අපි දැනගන්න කැමතියි. ඔබ වයිරස‍වේදය පිළිබඳ විශේෂඥයෙක් වෙන්නේ කොහොමද?

මම 1960 දී විතර වෛද්‍යවරයෙක් විදියට පත්වුණා. ඉන් පසුව වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනය සමග එකතුවෙලා වයිරස් රෝග පිළිබඳ වැඩ කළා. මම ශිෂ්‍යත්වයක් යටතේ වැඩිදුර පුහුණුවක් ලැබීමට බ්‍රිතාන්‍යයට ගියා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කරලා පී.එච්.ඩී. එකක් කළා. පී.එච්.ඩී. එක එසේ නැතිනම් ආචාර්ය උපාධියටත් කළේ වයිරස් සම්බන්ධයෙන්.

ඔබට බ්‍රිතාන්‍යයේ රැඳී සිටින්න කියලා ආරාධනා ලැබුණේ නැද්ද?

මට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙන්න කියලා ආරාධනා ලැබුණා. ඒත් මට වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනය සමග වැඩ කරන්න ඕන නිසා මම ලංකාවට ආවා. 1994 දක්වා මම බොරැල්ලේ වෛද්‍ය පර්ෙය්ෂණායතනයේ කටයුතු කළා. වයිරස අංශයේ ප‍්‍රධානියා ලෙසත්, වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයේ ප‍්‍රධානියා ලෙසත් මම රාජකාරි කර තිබෙනවා.

මට විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ඕනෑතරම් සල්ලි හම්බ කිරීමට තිබුණා. ඒත් මම ඒවා අතරහැරලා වයිරස්වලින් බෝවන ලෙඩ සම්බන්ධයෙන් වැඩ කළා. මම වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයට එන විටත් දිවා රෑ දෙකේ වසූරිය මර්දනය කිරීමට කැපවෙලා වැඩ කළා. ඒ වගේම හැමෝටම පෝලියෝ එන්නත දීලා අපි ඒක රටින් තුරන් කළා. ජපන් එන්සපලයිට් රෝගයත් ඒ විදියට රටින් තුරන් කළා.

ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් සමීපව වැඩ කර තිබුණා නේද?

ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දෙන කමිටුවක් තියෙනවා. මම ඒකට පත් කරලා තිබුණා. හැම අවුරුද්දකම ජිනීවාවල සම්මන්ත‍්‍රණයක් තියනවා. ඒ වගේම වෙන වෙන රටවල තියෙන සෞඛ්‍ය ප්‍රශ්නවලටත් උදව් කළා. ඒ නිසා මට තිබෙන අත්දැකීම් ඒ රටවල් සමග බෙදා ගැනීමට හැකි වුණා.

ඔබ එසේ සාර්ථක වූ අවස්ථාවන් මොනවාද?

මට මතකයි, මාලදිවයිනේ ඩෙංගු වසංගතය මර්දනය කිරීමට නොහැකිව සිටින විට මට එහේට යන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වා. ඒ අනුව මම මාලදිවයිනට ගොස් එහි ඩෙංගු ව්‍යාප්තිය නතර කිරීමට කටයුතු කළා.

ඔච්චර සුදුසුකම් තිබිලත් ඇයි ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුර ප‍්‍රතික්ෂේප කළේ?

මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙල්බර්න් නුවර තියෙන පර්ෙය්ෂණාගාරයේ ප‍්‍රධානී තනතුර දුන්නා. ඇත්තටම මට එම තනතුර දෙමින් පත්වීමත් දුන්නා. ඒත් මට ලංකාවෙන් නිවාඩු තියෙන්නේ වසර දෙකක් විතරයි, ඒ නිසා නැවත ලංකාවට යන්න ඕන කියලා මම ලංකාවට ආවා.

ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු කළේ මොන කාලයේද?

වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයෙන් විශ‍්‍රාම ගියාට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. ඒ කාලේ මගේ දෙවැනියා විදියට වැඩ කළේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු. ඇය තවමත් ඉන්නවා. ඒත් ඇයගෙන් දැන් කිසිම වැඩක් ගන්නේ නෑ.

ඔබේ හොඳම ගෝලයා වන සිරිමලී ප‍්‍රනාන්දුගෙන් ඇයි වැඩක් ගත්තේ නැත්තෙ?

දැන් ඉන්න නිලීකා මලවිගේ වයිරසය පිළිබඳව කටයුතු කරන්න නෙමෙයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවේ. ඇය ආවේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීම ගැන අවධානය යොමු කිරීමටයි. දැන් ලංකාවෙ ඉන්න හොඳම වයිරස විශේෂඥවරිය වන්නේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දුයි. ඇය වත්මන් කොරෝනා මර්දන කමිටුවට කැඳවලා නැහැ.

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඉදිරියට ව්‍යාප්තවීම පිළිබඳ ඔබට මොන ආකාරයේ තක්සේරුවක්ද තියෙන්නේ?

දැනට පවතින්නේ දරුණු තත්ත්වයක්. මේ වන විට මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. අපිට ඉදිරිපත් වෙන සංඛ්‍යාලේඛනවල දැක්වෙන මරණ සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යාව ඉහළ බව තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි රෝගීන් සංඛ්‍යාවත්.

කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහල්වල දැඩිසත්කාගාර ඒකක පිරිලා. ඇඳවල් පිරිලා. ඇඳන් යටත් පැදුරු දාලා නිදාගන්න රෝගීන්ට සිදුවෙලා තියෙනවා. වසංගතය වැඩිවෙමින් යන බව අපිට පිළිගන්න වෙනවා. මේ සැබෑ තත්ත්වය තේරුම්ගෙන කොරෝනා පාලනයට අපි කටයුතු කළ යුතු වෙනවා.

ඒක පාලනය කරන්නද රට ලොක්ඩවුන් කරන්න කියලා ඔබලා ඉල්ලුවේ?

ඔව්. රට ලොක්ඩවුන් කිරීමෙන් මිනිසුන් තමන්ගේ නිවසට සීමාවෙනවා. කොරෝනා වයිරසය බෝවෙන්න පුළුවන් ආශ්වාස ප‍්‍රශ්වාස මාර්ගයේ වර්ධනය වෙලා තවත් අයෙක්ට යාම මගිනුයි. ඒ නිසා තමයි අවම වශයෙන් සති දෙකක්වත් ලොක් ඩවුන් කරන්න කියලා ඉල්ලුවේ.

දැන් රට ලොක්ඩවුන් කරල තියෙනවා. දැන් වයිරසය පාලනය වෙයිද?

රට ලොක්ඩවුන් කරන බව දවස් තුනකටවත් කලින් කියන්න තිබුණා. එහෙම වුණානම් ජනතාව තමන්ට අවශ්‍ය ආහාර එකතු කරලා තියාගන්නවානේ. දැන් මොකක්ද කළේ, එකපාරම රට වහනවා කියලා කිව්වා. මිනිස්සු කලබල වෙලා, එක්රොක් වෙන්න ගත්තා. ඒකෙන් තවත් ශීඝ්‍රයෙන් වයිරසය පැතිර යන්න ගත්තා. දරුණු ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ තියෙනවා කියලා හිතලා කටයුතු නොකිරීම වැරදියි. ලොක්ඩවුන් එකේ අදහස වෙන්නේ මිනිස්සු ගෙදර ඉඳලා වෙන කොහේවත් යන්නේ නැතිව ඉන්නවා කියන එකයි.

වයිරස් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා කියලා අමතක කරලා ඉන්නේ ඇයි?

මම මේ මොන කමිටුවකවත් නෑ. වෙන මන්ත‍්‍රීවරු නම් ඉන්නවා. ඒ අය වයිරස් ගැන අවබෝධයක් තියෙන අයද? මම මේකට කැඳවන්නේ නැහැ කියලා මම මොනවා කරන්නද?

දැන් අලුතින් සෞඛ්‍ය ඇමැතිවරයෙක් පත් වෙලා ඉන්නවා. ඔහුවත් කොරෝනා මර්දනය ගැන ඔබෙන් උපදෙස් ගත්තේ නැද්ද?

එතුමාට අලුත් ඇමැතිකම ලැබුණම මම සුබ පැතුවා. ඒ වෙලාවේ එතුමා මා දෙසට හැරිලා මට සහාය දෙන්න වෙයි කියලා කිව්වා. එච්චරයි. එතැනින් එහාට මොනම දෙයක් වෙලා නැහැ. කලින් සෞඛ්‍ය ඇමැතිවරියට එක් වරක් පමණක් මගේ අදහස් ඉදිරිපත් කළා.

මොනවාද ඔබ ඇයට කිව්වේ?

මම එදා කිව්ව දේ එවකට සිටි සෞඛ්‍ය ඇමැතිවරිය පිළිගත්තේ නෑ. කොරෝනා පොකුරු ගැන අවධානය යොමු කරන ගමන් සමාජය ඇතුළේ කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබෙන බව මම පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ් කමිටුවක් පත් කිරීමට මම යෝජනා කළා. එවිට ඇමැතිවරියට කමිටුවේ අදහස් ගැනීමට කටයුතු කරන්න කියලා කිව්වා.

එතැන සිට ගම් මට්ටම දක්වා කොවිඩ් කමිටු පිහිටුවන්න කියලා මම යෝජනා කළා. එතකොට එක ගමක කොරෝනා මර්දනය කිරීමට හතර පස් දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න පුළුවන්නේ.

ඒත් මේවා හිටපු ඇමැතිවරිය පිළිගත්තේ නෑ. ඒකට මම මොනවා කරන්නද? වයිරසය සමාජගතවෙලා තියෙනවා, සමාජය පදනම් කරගෙන විසඳුම් ගේන්න ඕන කියලා කිව්වත් ඒ අවස්ථාවේ වයිරසය සමාජ ගතවෙලා නැහැ කියන ස්ථාවරයේ තමයි ඇමැතිතුමිය සිටියේ.

මේ ආණ්ඩුවේ සිටින ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් තමයි රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ. ඇය සමග සාකච්ඡා කළේ නැද්ද?

ඇයට රාජ්‍ය ඇමැති ධුරය ලැබුණු අවස්ථාවේදී මට කතා කරලා මා හමුවීමට අවශ්‍ය බව කිව්වා. ඒ අවස්ථාවේදී මම එන්නම් කියලා එතුමියගේ කාර්යාලයටම ගියා. පැය එකහමාරක් විතර මම ඇයත් එක්ක සාකච්ඡා කරලා ආවා. ඇයට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කරන්න දෙනවාද කියන එක මට ප‍්‍රශ්නයක්.

දැන් කොරෝනා මර්දන කමිටුවේ ප‍්‍රධානියා වන්නේ යුද හමුදාපතිවරයා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

හමුදාවට හොඳ විනයක් තියෙනවා. දෙයක් කරන්න අවශ්‍ය වුණාම හොඳට ක‍්‍රියා කරනවා. පළමු වටයේදී ඔවුන් හොඳට වැඩ කළා. නමුත් ඔවුන්ට වෛද්‍ය පසුබිමක් නෑ. හමුදාපති වුණාට එතුමාට වයිරසය ගැන පුහුණුවක් ලැබිලා නෑනේ. ඒත් මේ ගැන දැනුම තියෙන අය ඉන්නවා.

ආණ්ඩුව එන්නත්තරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව පේනවා. ඒ අතරේම ඔබ තුන්වැනි මාත‍්‍රාවක් දෙන්න ඕන කියලා කියනවා. ඇත්තටම අපිට තුන්වැනි මාත‍්‍රාවක් දෙන්න වෙනවාද?

වැඩිහිටි අයට, හදවත් රෝග, වෙනත් නිදන්ගත රෝග තියෙන අයට තමයි වැඩි අවදානමක් තිබෙන කාණ්ඩය වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් සියයට විස්සකට එන්නත නොමිලේ දෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේ අවුරුදු හැටට වැඩි අයගේ නම් ලැයිස්තුවක් සූදානම් කරන්න කියලා මම කිව්වා. මුල් අදියරේදී ඒ අයට තමයි එන්නත දෙන්න තිබුණේ. එහෙම ඒ අයට මුලින්ම එන්නත දුන්නා නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා.

සමහර රටවල් තුන්වැනි මාත‍්‍රාව දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එන්නතෙන් අවුරුද්දක් ආරක්ෂාව ලැබෙතැයි අපේක්ෂා කළා. ඒත් ඇමරිකාවෙන් එන වාර්තාවල සඳහන් වෙන්නේ එන්නතෙන් මාස හයක කාලයකට ආරක්ෂාවක් තියෙනවා කියලයි කියන්නේ. එහෙම වුණොත් තවත් මාත‍්‍රාවක් දෙන්න වෙනවා. ඒ අනුව අඩුම තරමේ මාස නමයෙන් නමයටවත් එන්නත් දීමට සිදුවෙනවා.

සාර්ස් වයිරසය සොයා ගැනීමේ ප‍්‍රධානියාව සිටි මහාචාර්ය මලික් පීරිස් ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් කටයුතු කළා. එහි වැදගත්කමක් තියෙනවාද?

මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වැඩකරන ගමන් සාර්ස් වයිරස සොයා ගැනීමේ කටයුතුවල සම්බන්ධ වුණා. කොරෝනා වයිරසයට කලින් ආපු එක තමයි සාර්ස්. වූහාන්වලින් සාර්ස් මතුවන විට පර් යේෂණ කිරීමට මුල් තැන ගත් කෙනෙක් තමයි මලික් පීරිස්. අපි දෙන්නම වයිරස් විශේෂඥයන් වුණා, මම ඩෙංගු කාර්ය සාධක බලකායේ වැඩ කළා. එතුමාට කොවිඩ් වයිරසය ගැන වැඩිම දැනුමක් තියෙන පුද්ගලයෙක්.

අපේ රටේ වෙන දේ දකිනවිට අපි වගේ අයට බරපතළ කනගාටුවක් ඇතිවෙනවා.

ඔබ මුලින් කී පරිදි පෝලියෝ ලංකාවෙන් තුරන් කළා වගේ කොරෝනා වයිරසය කවදා වන විට තුරන් කිරීමට හැකියාව ලැබේවිද?

ඒක එහෙම කියන්න බෑ. මේක වයිරස් එකක් නේ. මේකේ ජාන මොන විදියට වෙනස් වේවිද කියලා කියන්න බෑ. ඒ නිසා කවදා මේක නතරවේද කියන්න බෑ. උදාහරණයක් විදියට ඉන්ෆ්ලුවන්සා වයිරසය 1918 -20 කාලයේදි වසංගතයක් ලෙසින් මේක පැතිර ගියා. ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකකට මේ වයිරසය බෝවුණා. මරණ සංඛ්‍යාව මිලියන 30ක් විතර සිදුවුණා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ ලෝකයේ මිලියන 30ක් මැරුණා. දැන් ඒ වයිරසය අපේ සමාජයේ තියෙනවා.

මේ වයිරසයට එරෙහිව හොඳ එන්නතක් දියුණු කරලා තියෙනවා. තවම සීතල රටවල අවුරුදු පතා එන්නත ලබාදෙනවා. ඉන්ෆ්ලුවන්සා වයිරසයේ අලුත් ප‍්‍රභේද මතුවෙනවාද කියලා බලන්න මාස් පතා ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හැදුණ අයගේ සාම්පල් එකතු කරලා, ශීත කරලා තියාගෙන අවුරුද්ද අවසානයේදී ලන්ඩන්වලට ඒවා යවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා මධ්‍යස්ථානයට ඒවා යවනවා. එතැනදී පර්ෙය්ෂණ කරලා අලුත් ප‍්‍රභේද මතුවෙලා තියෙනවාද කියලා බලනවා. ලෝකයේ හැමතැනින්ම සාම්පල් ලැබෙනවානේ. ඒවා බලලා, එන්නත වෙනස් කරන්න ඕනද? අලුත් ප‍්‍රභේද මතුවෙලා තියෙනවානම් ඒවට ආරක්ෂාව ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරනවා.

ඒ නිසා කොරෝනා වයිරසයට මොනවා වේද කියන්න බෑ. ඒ නිසා අපි නිවැරදිව කටයුතු කළ යුතුයි. වයිරසයේ තත්ත්වය අනුව අපි පර්ෙය්ෂණ කරමින්, වයිරසයේ හැසිරීම් පදනම් කරගෙන ඕන විසඳුම්වලට එන්න ඕන. සමහර ඒවාට ඉක්මනින් විසඳුම් සොයන්න පුළුවන්. තවත් සමහර ඒවාට විසඳුම් දෙන්න කාලයක් යාවි. කොරෝනා වයිරසය අවසන් වෙන්නේ කවදා, කො‍ෙහාමද කියලා කියන්න මම සාත්තරකාරයෙක්වත්, නක්ෂත‍්‍රකරුවෙක්වත් නෙමෙයි.

මේ වන විට කොරෝනා මරණ අටදහසේ සීමාව පසුකරගෙන ගිහින් තියෙනවා. ලංකාවේ කොරෝනා මරණ කීයක් විය හැකි බවට තක්සේරුවක් තියෙනවාද?

එහෙම තක්සේරු කරන්න බෑ. මේ වයිරසයේ තවත් ජාන වෙනස්විය හැකියි. අලුත් ප‍්‍රභේද මතුවිය හැකියි. මේවා අපි දන්නේ නෑ. මේක වර්ධනය වන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. ඒ අනුව අපි පියවර ගත යුතුයි. ඒකට නම්‍යශීලීව කටයුතු කළ යුතුයි. එක මතයකට හිරවෙලා ඉඳලා හරියන්නේ නෑ.

උපුටාගැනීම අරුණ පුවත්පත

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...