Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ඇතැම් විද්වතුන් මහාචාර්ය වරුන් සමාගම්වලට ඕනෑ හැටියට වැඩ කරපු නිසයි පොල්තෙල් පිළිකා...

ඇතැම් විද්වතුන් මහාචාර්ය වරුන් සමාගම්වලට ඕනෑ හැටියට වැඩ කරපු නිසයි පොල්තෙල් පිළිකා තෙල් වුණේ. – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

මෙරට පරිභෝජනයට ගැනෙන පොල්තෙල් හි ඇෆ්ලාටොක්සින් (Aflatoxin) නමැති පිළිකා කාරකය ඇති බවට තහවුරු වීමත් සමගම මුළු රටම භීතියට පත්ව ඒ පිළිබඳව අවධානය යොමු කළේය. එමෙන්ම මෙම පිළිකා කාරක හමුවීමට පෙරද පොල් තෙල් ශරීරයට අහිතකර බව මත පළ වී තිබිණි. ඒ හෙයින් ඒ පිළිබඳව මෙන්ම වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය:- පිළිකා කාරක සහිත පොල්තෙල් මෙරටින් හමුවීමත් සමගම පොල්තෙල් පිළිබඳව රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම කතාබහ ඇති වීමට කාලෙකට පෙරත් පොල්තෙල් සහ පොල් කිරි ශරීරයට අහිතකර බව මෙරට ඇතැම් මහාචාර්යවරු පවා අදහස් පළ කරමින් යම් මතයක් සමාජගත කරන්න උත්සාහ දැරූ බව අපට මතකයි. විශේෂඥ වෛද්‍යතුමනි, ඇත්තටම පොල්තෙල් මනුෂ්‍ය ශරීරයට අහිතකරද?

පිළිතුර:- කොහොමවත් නැහැ . ඇත්තටම අද ලෝකය පොල්තෙල්වලට කියන්නේ superfood එකක් කියලා. ඒ කියන්නේ අද පොල්තෙල් වැටෙන්නේ සුපිරි ආහාර ගණයට. ඇත්තටම මව්කිරිවල ඇති ලෝරික් අම්ලය (lauric acid) පොල්තෙල්වල අඩංගුයි. එමගින්ම පොල්තෙල් වල ඇති ගුණය පැහැදිලි වෙනවා ඇති. එසේම රෝග ගණනාවකට පොල්තෙල් ඖෂධයක්. පොල් තෙල් මගින් හෘදයේ හොඳ කොලෙස්ටරෝල් වර්ගය වන එච්.ඞී.එල්. කොලෙස්ටරෝල් (High-density lipoprotein(HDL) cholesterol )වැඩි කරනවා. ඒ කියන්නේ හොඳ පොල්තෙල් හෘදයට හොඳයි වගේම අංශභාග තත්ත්වයන් වළක්වා ගැනීමටත් වැදගත් වෙනවා. ඔබ දන්නවාද මේ වන විට බටහිර ලෝකයේ ජනතාව හොඳ පොල්තෙල් හැඳි දෙකක්, ඒ කියන්නෙ පොල්තෙල් ග‍්‍රෑම් තිහක් උදෑසන බොන්නත් පුරුදු වෙලා ඉන්නවා.

ප‍්‍රශ්නය:- පොල්තෙල් පරිභෝජනය ප‍්‍රතිශක්තිකරණය සඳහා යම් බලපෑමක් කරනවාද?

පිළිතුර:- නිසැකවම… ප‍්‍රතිශක්තිකරණය මෙමගින් ඉහළ නැංවෙනවා. ඒ වගේම ස්නායු මාර්ග හොඳින් පවත්වාගෙන යෑමටත් පොල්තෙල් වැදගත්. සිහිය හොඳින් පවත්වාගෙන යෑමට අවශ්‍ය රසායනයන් පොල්තෙල් මගින් නිපදවීම සිදු කෙරෙනවා. ඒ වගේම වලිප්පු තත්ත්වය පාලනයටත් පොල්තෙල් වැදගත්. ඒ වගේම සිරුරේ ලස්සන පවත්වාගෙන යෑමටත් පොල්තෙල් ඉතාම වැදගත් කාර්යභාරයක් සිදු කරනවා.

ඇත්තටම තව දෙයක් මම ඔබට කියන්න ඕන. පොල් සම්බෝල සමග බත් ආහාරයට ගැනීම සමබර ආහාර වේලක්. පාරම්පරික සහල්වල ප්‍රෝටීන් ග‍්‍රෑම් 12කින් පමණ තිබෙනවා. ඊට කතුරුමුරුංගා සහිත කිරි හොද්දක් එක් කර ගැනීමට හැකි නම් එය ළමයකුට දෙන්න පුළුවන් උසස් ගණයේ ආහාර වේලක්.

ප‍්‍රශ්නය:- පොල්තෙල් මගින් මෙපමණ හොඳ කාර්යභාරයක් සිදු වෙනවා නම් පොල්තෙල් සහ පොල් කිරි ශරීරයට අහිතකර බවට මෙරට ඇතැම් විද්වතුන් මහාචාර්යවරුන් මත පළ කිරීම ගැටලූ සහගත නොවේද? ඔවුන් සමාගම්වල පදයට නැටවුණා ද?

පිළිතුර:- පැහැදිලිවම… ඇතැම් විද්වතුන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් සමාගම්වල අවශ්‍යතා ඉටුකිරීමට විශාල උත්සාහයක් ගත්තා. දැන් ඒක හරි නොගිය නිසයි පොල්තෙල්වලට විස කවලම් කරමින් අධික ලාභ ලබා ගන්න කටයුතු කරමින් සිටින්නේ. පොල්තෙල් පිළිබඳව සාවද්‍ය මත පළ කර තේරුමක් නැති බව ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා ඉහළ ලාභයක් ලැබීමට පොල්තෙල්වලට විස රසායන ඇතුළු නොයෙකුත් දෑ කවලම් කරමින් මිනිස් පරිභෝජනයට යොමු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පොල්තෙල් සහ පොල්කිරි පිළිබඳව අප රටේ මහාචාර්යවරු ආචාර්යවරු යැයි කියා ගන්නා පිරිස සාවද්‍ය මත සමාජගත කරන්න උත්සාහ ගනිද්දී මෙරට සිටි කීර්තිමත් විශේෂඥ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ ඞී.පී. අතුකෝරාල මහතා පොල්තෙල් රැකගැනීමට, එහි වටිනාකම ලෝකයටම කියා දෙන්න තනි සටනක් ගෙන ගියා. අවසානයේ පොල්තෙල් නතර වුණේ ලෝකයේ සුපිරි ආහාරයක් බවට පත් වෙලා. පොල්තෙල් අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුම් මේ සමග නැති වුණා. ඊට පසුව තමයි ඉහළ ලාභ ලැබීමට මම ඉහතින් කිව්වා සේ විෂ රසායන ඇතුළු නොයෙකුත් දෑ පොල්තෙල්වලට කවලම් කිරීමට පටන් ගත්තේ.

ප‍්‍රශ්නය:- සෙක්කුවෙන් අඹරා පොල්තෙල් ලබාගත් අවධියේ සිට මේ දක්වා වූ කාලය තුළ පොල් තෙල් විශාල විපර්යාසයන් රැසකට ලක්වෙලා නොවේද?

පිළිතුර:- පොල්තෙල් සම්බන්ධයෙන් යුග තුනක් පවතිනවා. අපගේ පැරැන්නන් පොල්තෙල් සමඟ ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් ගනුදෙනු කළ යුගය එහි පළමු යුගයයි. ඉන්පසු පොල්තෙල් අපකීර්තියට පත් කර ආදේශක පොල්තෙල් හඳුන්වාදීමට සමාගම් කටයුතු කළ යුගය දෙවැන්නයි. තෙවැනි යුගය පොල්තෙල් අපකීර්තියට පත් කිරීමට නොහැකි නිසා එයට වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුළු නොයෙක් ද්‍රව්‍ය කලවම් කරමින් පොල්තෙල්වලට සමාන තෙල් විකුණා අධික ලාභයක් ලබා ගැනීමට කටයුතු කරන වර්තමාන යුගයයි. අපගේ පැරැන්නන් පොල්තෙල්වල ගුණය පිළිබඳව ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් දැන ගෙන සිටියා. මී තෙල්, පොල්තෙල්, තැඹිලි තෙල් අපි භාවිතයට ගත්තා. ඉස්සර පොල් තෙල්, තැඹිලි තෙල් සෙක්කුවේ දා අඹරා අවශ්‍ය තෙල් නිෂ්පාදනය කර ගැනීමට අපගේ පැරැන්නන් කටයුතු කළා. මේ සම්බන්ධයෙන් මුලින්ම අපට තිබූ තාක්ෂණය අද ජර්මනිය පේටන්ට් බලපත‍්‍රයක් හිමි කරගනිමින් භාවිතා කරනවා.

දෙවැනි යුගය ගැන තමයි මීට ඉහත ප‍්‍රශ්නයේදී මම උත්තර ලබා දුන්නේ. එහිදී පොල්තෙල් අපකීර්තියට පත් කරන්න බැරි බව එහිදී ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා තෙවැනි යුගයේදී පොල්තෙල් සමඟම සමාගම් ඉදිරියට යනවා. එහිදී අධික ලාභයක් ලැබීමට විස රසායනික ඇතුළු නොයෙක් දෑ ඊට කවලම් කරනවා. පොල්තෙල් සමඟ වෙනත් දෑ කලවම් කරන එක නතර කළ යුතු බව අප බොහෝ කලක සිට කියූ කාරණයක්. ආසියා පැසිෆික් කලාපයේ පොල්තෙල් පිළිබඳ තාක්ෂණ තීරණ ගන්නා කමිටුව පැහැදිලිවම කියා ඇති දෙයක් වන්නේ, පොල් තෙල් සමඟ වෙනත් දෑ කලවම් නොකළ යුතු බව. නමුත් මෙම තීරණයට එරෙහිව යමින් අප රට 2018 වසරේ දී පොල්තෙල්වලට වෙනත් දෑ කවලම් කළ හැකි බව දන්වමින් ගැසට් එකක් ප‍්‍රකාශයට පත් කළා. මේ නිසා සිදු වූයේ අප රටේ මිනිස්සුන්ට පොල්තෙල් කියලා පොල්තෙල් නොවන වස කන්න සිදුවීමයි.

ප‍්‍රශ්නය:- පොල්තෙල් භාවිතා කළ පසු නැවත නැවත භාවිතාවට ගත හැකි ලෙස එය සකසන බව බවට සඳහන් වෙනවා.

පිළිතුර:- ඔව්… මෙය සුලබව සිදුවන දෙයක්. භාවිතා කරන පොල්තෙල් නැවත නැවත භාවිතා කළ හැකි ලෙස සැකසීමට නව තාක්ෂණයක් ඇවිත් තිබෙනවා. මෙම තාක්ෂණයට පුළුවන් පිරිසිදු හා ගන්ධයෙන් තොර පොල් තෙල් නිෂ්පාදනය කිරීමට. මේ නිසා පොල් තෙල් හොඳද? නැද්ද? යන්න සොයා ගැනීමට ජනතාවට නොහැකි යි. මේ හරහා රබර් ඇට, කටු පොල්, ඛනිජ තෙල් වැනි දෑ පොල්තෙල්වලට කවලම් කිරීමේ හැකියාව තිබෙනවා. මෙය මුළු රටේම සෞඛ්‍ය විනාශ කරන තත්ත්වයක්. පොල්තෙල් තුළින් ජනතාවට වස කවන එක නතර කළ හැකි වන්නේ පොල්තෙල්වලට වෙනත් දෑ කවලම් කිරීම තහනම් කිරීමෙන් පමණයි. මෙරට පොල්තෙල් යැයි අලෙවි කරන තෙල්වලින් සියයට 75% කම තිබෙන්නේ වෙනත් තෙල් වර්ග සහ අපද්‍රව්‍යයි.

ප‍්‍රශ්නය:- මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා මොනවාද?

පිළිතුර:- අප ඒ සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කරනවා. පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳපළට නිකුත් කරන ආහාරයක නිෂ්පාදනය ආරම්භයේ සිට අවසානය දක්වා දත්ත ඇතුළත් වාර්තාවක් නිෂ්පාදකයා විසින්ම ඉදිරිපත් කළ යුතු බව අපගේ පළමු යෝජනාවයි. අපගේ දෙවන යෝජනාව වන්නේ ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට හිමිවන ලෙස නීති සංශෝධනය කිරීමයි. එසේම ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම උසාවියක් ස්ථාපනය කළ යුතු බව අපගේ තෙවන යෝජනාවයි. රාජ්‍ය සේවයේ නියුතු වූ කිසිදු නිලධාරියෙක් තම සේවා කාලය තුළ හෝ විශ‍්‍රාම යෑමෙන් පසු වසර පහක් ගතවනතුරු නිෂ්පාදන සමාගම් සමග සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් තහනම් කළ යුතු බව අපගේ සිව්වන යෝජනාවයි. මේ තුළින් පවතින තත්ත්වයන් බොහෝ දුරට පාලනය කරගත හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි. මෙම යෝජනා කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස අප රජයට දන්වා සිටිනවා.

එසේම පොල්තෙල් කඩෙන් මිලදී නොගෙන ගෙදරදීම නිෂ්පාදනය කිරීමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා යොමුවන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. අතීතයේ අපේ පැරැන්නන් කළෙත් එයයි. ඒ තුළින් ධනය මෙන්ම සෞඛ්‍යයත් රැකෙනවා. වෙළෙඳ පළට හොඳ පොල්තෙල් එන යුගයක් නිර්මාණය වන තෙක් බලා සිටියොත් සිදු වන්නේ අපේ දරුවන් සහ ගැබිනි මව්වරුන් පිළිකා රෝගීන් බවට පත්වීම පමණයි. ඉවතලන පොල්කුඩු තුළින් පොල්තෙල් ලබා ගන්න පුළුවන්. ඒ නිසා පොල් කුඩු නිකරුනේ විසිකර දමන්නත් එපා. නිවැරදි ලෙස පොල්තෙල් ගබඩා කර තැබුවහොත් එය වසර දෙකක් පමණ තබා ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- අද අප රටේ ජනතාව වස කන ජාතියක් බවට පත්වෙලා…

පිළිතුර:- ඔව් මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වයෙන් අපි මිදිය යුතුයි. අප වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට නැවත අවතීර්ණ වීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේ නොවුණහොත් වන්නේ ලෙඩ ජාතියක් බවට අප පත් වීමයි. ඇත්තටම වස සහිත ආහාර ලබා දී ටිකෙන් ටික මරණ එක මිනීමැරුමක්. එමනිසා වස සහිත ආහාර ගෙන්වන බෙදාහරින අයට අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතුයි.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...