කුඹුරු අක්කර 800 ක් තනිවම අස්වද්දන මාර යකෙක්…
අතීතයේ සිටි රජවරුන් රාජ්‍යයෙහි මුදල් යොදවා වැව්; අමුණු සාදා කුඹුරු අස්වැද්දූ බව අප කවුරුත් දන්නවා. රජවරුන්ගෙන් පසු ඒ වැඩේ මහා පරිමාණයෙන් කළේ ඩී.එස්. සේනානායක මහත්තයා. මේ සියලු දෙනාගේ විශේෂත්වය වන්නේ ඔවුන් රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටීමයි. නමුත් කුඹුරු අක්කර අටසීයක් තනියම අස්වද්දන කෙනෙක් රටේ ඉන්නවා කිව්වොත් ඒක හිතාගන්නවත් බැරි දෙයක්.
බියගම; සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි නිමල් කාරියප්පෙරුම කියන්නෙ ව්‍යාපාරිකයෙක්. ඔහු ටෂ්මා සමුහ ව්‍යාපාරයේ අධිපති. ඔහු තමයි පුරන් කුඹුරු අක්කර අටසීයක් තනිවම අස්වද්දන අපූරු පුද්ගලයා.
මේ වෙල්යාය සියඹලාපේ ඉඳලා පහළට විහිදී යනවා. යායට අයත් කුඹුරු බොහොමයක් අවුරුදු 25කින් වත් අස්වද්දලා නැහැ.. මිනිසුන්ටත් වඩා උසට කුඹුරුවල ගස් වැවී තිබෙනවා. ඇතැම් ගස් ලි මඩුවකට දාලා ඉරන්නත් පුළුවන්. වෙල්යායේ බොහෝ අපරාධ හා අපචාර ක්‍රියා සිදුවුණා.
කොහොමහරි කුඹුරු වැපුරුවා කියමුකෝ.නමුත් ප්රශ්නය තියෙන්නේ ඒ කුඹුරුවලට වතුර ගන්නේ කොහොමද? කියලා.කුඹුරේ වතුර බස්සන්නේ කොහොමද? කියලයි.මේ ව්‍යාපෘතියේ දී මුලින්ම කළේ ඇළවේලි හදන එකයි. සමහර තැන් වල වතුර ගන්න ඇල පහත් . කුඹුරුයාය උසයි. මේ තැන් වලට මෝටර් දාලා වතුර ගන්න සැලැස්සුවා. මේ කුඹුරුවල ප්ලාස්ටික් දුව්‍ය ; වීදුරු කිලෝ ගණනක් තිබුණා.
සමහරුන්ගේ ගෙදර කුණු මල්ලෙ අවසන් නැවතුම වුණේ පුරන් යාය. කොහොම වුණත් බියගම ප්‍රාදේශීය සභාව හා විශේෂයෙන් එහි සභාපති ආනන්ද ගනේපොල මහතාගේද සහාය ලබා ගනිමින් අද වෙනකොට මේ සියලු බාධක ජය ගෙන තියෙනවා. රූස්ස ගස් ගෙවුණු කැලෑවක් ලෙස තිබූ සියඹලාපේ වෙල්යාය අද පිදීමට ආසන්න නිල්වන් ගොයමින් වැසුනු සුන්දර වෙල් යායක්. ඈත කෙළවර නොපෙනෙන නිල්වන් ගොයමක්. මේ අපූරු මිනිසාගේ අපූරුම සේවාව වන්නේ වගා කරන කුඹුරු වල අස්වැන්න එම කුඹුරු වල මුල් අයිතිකරුවන්ට ම ලබා දීමයි.