ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය අද අන්තර්ජාතික ‘‘ෆ්‍රැන්චයිස්” ලීග් ක්‍රිකට් තරගබිමට එක්වෙනවා. අයි.පී.එල්. තරග මුහුණුවරේ ශ්‍රී ලාංකේය පිටපත වන එල්.පී.එල්. තරගාවලිය මෙරට ප්‍රධාන නගර 5 ක් කේන්ද්‍රකරමින් කණ්ඩායම් 5 ක් නම්කර තිබෙනවා. සමස්ත තරගාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි. කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ දැඩි සෞඛ්‍ය නීති වලට අනුව පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියට දේශීය ක්‍රීඩකයන් 75 ක් සහ විදේශීය ක්‍රීඩකයන් 35 ක් එක්වනවා.
තරගාවලියේ සමාරම්භක උලෙළ අද පස්වරුවේ කොරෝනා සෞඛ්‍ය නීති වලට අනුව පළමුවරට ‘‘ඔන්ලයින්” ක්‍රමවේදයට අනුව පැවැත්වෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වීමට නියමිතයි. ජයග්‍රාහකයන්ට පිරිනැමෙන එල්.පී.එල්. කුසලානය නිරාවරණය කිරීම ද සමාරම්භක උලෙළේ දී සිදුවනවා.
එල්.පී.එල්. පළමු තරගය අද පස්වරු 7.30 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් පිල අතර පැවැත්වෙනවා. සියලු තරග ස්වාධීන රූපවාහිනි සේවයේ වසන්තම් නාලිකාව ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා.